Sunday, December 18, 2011

සරුංගලේ

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි


ගී පද: මහැදුරු සුනිල් ආරියරත්න
ගී නද: විශාරද නන්දා මාලිනී


මේ ගීය 80 දශකයේ බිහිවූ සුභාවිත වූ ගීතයකි. සරුංගලයක ඉපදීම, පාලනය සහ එය උඩ හැරීමත්, ඒ හා සම්බන්ධ සමාජයීය තත්ත්වයනුත් මේ ගීතය තුලින් මනාව කියා පායි. එනමුත් මහැදුරු ආරියරත්නයන්, සරුංගලයෙන් එහා දෙයක් දක්නා බව නම් පැහැදිලිය. ඒ අනුව මේ ගී පද බහු අරුත් දන්වන ආකාරයේ එකක් වේ. මේ ගීතය ගැනම විවරණයක් සපයන අසරණයා කියා සිටිනුයේ රට හැර යන ළමයින් ගැන මූර්තිමත් කෙරෙන පද වැලක් හැටියට හඳුන්වා දිය හැකි බවයි. ඇත්තෙන්ම පවුල හැර යන ළමයෙකුට සරුංගලය සම කළ හැකි වුවත්, මහැදුරු ආරියරත්නයන් මෙයට එහා ගිය පරමාදර්ශී මාතෘකාවක් දකින බැව් මට සිත්වේ. එසේ වුවත් මේ ගීය පිළිබඳ රස විනිසක් කිරීමට මා පෙළඹවීම ගැන එම බ්ලොග්කරුට මම ස්තූතිවන්ත වෙමි.

බුද්ධි ගලනය දකුණු ආසියාවටම පොදු සාධකයකි. විවිධ හේතු නිසා තම රට අතහැර දියුණු යයි සම්මත රටවල් වල ආකර්ෂණීය වැටුප් සොයාගෙන විද්‍යාර්ථීහු තම මව් රටෙන් පිටවෙති. එලෙසේ පිටවන විද්‍යාර්තීන් යනු මෙරට සාමාන්‍ය ජනයාගේ බදු මුදලින් උගැනුම ලබා සමාජ තලයේ ඉහළට නැග ගන්නා අයයි. මහැදුරු ආරියරත්නයන් සරුංගලය තුලින් රට හැර යන විද්‍යාර්ථියෙක් පෙන්වා සිටින බව මගේ හැඟීමයි.

මේ විද්‍යාර්ථියා බිහි වන්නේ බිම් මට්ටමේය. එනම් බිම් මට්ටමේ සිටින දුප්පත් දෙමාපියන් තුලිනි. සරුංගලය බටපතුරෙන් කපා, ලාටු උලා, රැළි අලවා හැඩ කරන්නේ "අපේ" ළමයින්ය. "අපේ" යන පදය මෙහිදී යෙදෙන්නේ රටේ පීඩිත පන්තිය නිරූපණයටයි. ඔහුට උගන්වන්නේ, ඔහුගේ නැණැස පාදන්නේත් සාමාන්‍ය ජනයාගේ මුදලින් නඩත්තු වන ගුරුවරුන්ය. ඔහු බිම් මට්ටමෙන් ඉහළට උඩ අරින්නට නූල් දුන්නේත් "අපේ" ළමයින්මය. විද්‍යාර්ථියාට ඉගෙන ගැනීමට සුදුසු පරිසරය සකසා දීමට කල අරගල වලදී ගුටි කෑවේ, සිත් වේදනාවට පත් වූයේ සහ මිය ගියේත් "අපේ" ළමයින්මය. එනමුත් සරුංගලය මෙන්ම සමාජ පිරමීඩයේ ඉහළට නැගගෙන වරල් සලමින් නිසංසලව සිටින විද්‍යාර්ථියාට රට හැර යන විට තමා උපන් බිමත්, උපන් සමාජ පන්තියත් අමතක වී යයි.

බුද්ධි ගලනය වැනි මාතෘකා ගැන ගීයක් තබා සංවාදයක් පවා ඇති නොවන සමයෙක දුර දක්නා නුවණින් මහැදුරු ආරියරත්නයන් විසින් ලියන ලද "සරුංගලේ" ගීතය, ඉහත මාතෘකාව පිළිබඳ සංවේදී කතිකාවතල අවශ්‍යතාවයට අප යොමුකරවයි.

Friday, December 9, 2011

අතු අගැ දිලි වන මල්


අතු අගැ දිලි වන මල්
පිපෙන්නා විඳැ විඳැ
සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල්
ලබාලා පරයයි ඒ හැම මල්

දෝතලු තුරු එල් වැල්
එලෙන්නා කොහි එගසින් අත් වැල්
මට ඇති ඔබ අත්වැල්
වෙලෙන්නෙම් මම ඔබැ හා හැම කල්

සිඹැ සිඹැ මී අඹ මල්
උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්
මගෙ පෙම් ගී රසු දැල්
එළන්නේ ඔබ වෙනුයෙන් කැරැ ලොල්


ගායනය හ සංගීතය: ආචාර්ය අමරදේව
පද බැඳුම: මුනිදාස කුමාරතුංග


කුමරතුඟු මුනිදස් සිහල කලා කෙතට පහළ වූ මහ පඬි රුවනකි. අදිරද වාදී අදහස් ඔළුවේ දමාගෙන සිටි බඩ ගැත්තන්ට සිනා වූ එතුමා සකු බසින් තොර වූ එළු බස සොයන්නට මහත් වෙහෙසක් ගත්තෝය. බස් කිහිපයක් වහරන්නට හැකියාවෙක් තිබූ කුමරතුඟුවෝ විප්ලවීය මාවතෙක යමින් සිය සාහිත නිමැවුම් ඉදිරිපත් කළෝය. එනමුදු කුමරතුඟුවන්ගේ ගී රචනා ගී ලෙස ඇසෙන්නේ කලාතුරකිනි. එපමණකුදු නොව, ඔහු විසින් කල් පෙම් ගීයෙක් වේද එය "අතු අග පිපි වන මලට" පමණක්ම සීමා වූයේද වෙයි. එනිසාම, අතු අග පිපි වන මලෙක් වූ මේ ගීය සිහල ගී කෙතෙහි සුවිසල් පිය සටහනෙක් වන්නේය.

කුමරතුඟුවන් මේ ගීය පුරාම යොදන්නේ සුපිරිසිදු එළු බසමැ පමණෙකි. සිහිගිරි කුරුටු ගීයෙහි "නිල් කට් රොල් මල්ක" ආදී වූ පැදියෙහි හැඩ තල ගනිමින් හල් අකුරු විසල් ගණනෙක් සහිතව ගීය ලියැවී ඇත්තේය. අතු අග පිපුණ වන මල් සඳ එළියේ සිහිල ලබමින් පිබිදෙයි. එනමුත් ඔබ දුටු කල්හි මා සිත ඒ මල් පවා පරයමින් විකසිත වන්නෙමය. දෝතලු වැල්, එළ වැල්, තුරු ලිය මත වැවී ඇතත් ඒ කිසිවෙක් අත්වැලක් ලෙස ගත නොහීය. එනමුත් ඔබ මට අත්වැලක් නිසාම් ඔබ හා මා (පෙමින්) වෙලෙන්නෙමි. මී අඹ මල්හි මධු උරන මියැසි කැල ගුම් නද නංවන්නෝය. එනමුත් ඔබ කෙරෙහි ලොල්ව මා සිත නැගෙන පෙම් ගී වැල් වලින් එලෙසින්ම රසු දැල් (සිලි සිලි හඬ නැගෙන වාද්‍ය භාණ්ඩයක්) නැගෙන්නේය.

ගී ලියන්නට සකු බසෙහි රළු පද අනැවැසි බව මොනවට පෙන්වන ගීයකි අතු අග දිලි වන මල. කුමරතුඟුවන්ට පසුව ආ අරිසෙන් අහුබුදුවන් වැනි පද රචකයෝ හෙළ හවුල තව දුරටත් ගෙන ගිය අතර ඔවුනතින් ගී රැසක් ලියැවිණි.

ගීයෙහි සංගීතයද '70 දශකයේ ගීයක යයි සිතිය නොහැකි තරමටම නවීනය. යුගයට වඩා නවීන තනුව හා සංගීත සංයෝජනය නිසාම මේ ගීතය අපූර්ව ගීතයක්ද වෙයි.


බාගෙන අහන්න

Thursday, July 21, 2011

ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුණත් කොයිතරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ගායනය: අමරසිරි පීරිස්

අප හමුවූයේ අහම්බෙනි. මා එකල වෙසෙසක් නැති සාමාන්‍ය තරුණයෙක්මි. ඔබ සුකුමාර සැප වීන්දින සුර කුමරියකි. ඔබේත් මගේත් පරතරය අහසට පොළොව මෙන් විය. ඔබ දෑසට වශී වී ඔබ අත ගැන්මට කල පැතූ පැතුම් වල බර මහ මෙරක් වැන්න. මා රැය නොනිඳා පහන් කලේ ඔබ වෙනුවෙනි. වහලේ රීප ගැන්නේ ඔබ වෙනුවෙනි. කුසගින්නේ සිටියේ ඔබ ලබා ගැනීමටය. නමුත් ඒ සියල්ලම වැරදී ගිය අතර ඔබ මා හැරදා දුරු රටකට යන්නට ගියේය. ඔබ නැතිව පාළු වූ ලොවෙහි වාසය කිරීමට මම ටිකින් ටික පුරුදු වූයෙමි. ඔබ මා ජීවිතයේ දුටු මල් අතර පියකරුම මල විය. ඉන් පසු මා දකින ලද මල් සියල්ල ඔබ හමුවේ නොවැදගත් ඒවා විය. එවන් ඔබ නොදැකගත වූ දිගු කලේ දී මගේ සිත හදා ගත්තෙමි. ඒ නොවිඳිනා දුක් විඳීමෙනි. ඔබ වෙනුවෙන් හෙළු කඳුලැලි මා නවතා ගත්ත මහත් වැරිනි. ඒ කඳුළු වියළී ගොස් වැඩි කලක් ද නැත. අහෝ! ඔබ නැවතත් පැමිණ ඇත. මා විසින් මහත් වෙරින් ගොඩ නගන ලද පවුරු පදනම් ඔබ සිඳ බිඳ දමා ඇත. දැන් නැවතත් ඔබ පතනු හැර කුමක් කරන්නද?

අමරසිරි පීරිස් විසින් මෑත කාලයේ ගැයූ මධුර ගීයකි මෙය. ගීතය ඉතාම සරල එකකි. නමුත් එය ඉතාම ලයාන්විත සරල ගීතයකි. පද පෙළ ඉතාම් සරලය. නමුත් ඒවා හදවතට කතා කරයි. සරල ගීයක් වුවද මෙහිදීද භාව ප්‍රකාශන නැත්තේම නොවේ. "ඔබ ආයෙමත් ඇවිදින්" ලෙස මුල්ම පදය ගයා ඉන්පසුව මඳ වේලාවකින් ඉතිරි පදය ගැයේ. ඒ කාලයක් ගතවූ බව දැක්වීමට හා එම දැකීමෙන් ඇති වූ හැඟීම් සමුදාය කැටි කර ගන්නා වේලාව දැක්වීමටය. සේම ඔබ ආයෙමත් ඇවිදින් යන පදය නිතර නිතර ගැයීමෙන් පෙන්වන්නේ මෙය එක් වරකට වඩා සිදු වූ බවක්වත්ද?

පසු ගිය ගීය එළ කිරියේ උපරිගත කිරීම ගැන මා හට කිහිප දෙනෙක්ම චෝදනා එල්ල කළහ. ඔවුන්ගේ ඉල්ලීම් වලට අවනත වීමක් ලෙස මෙවර මීඩියාෆයර් අඩවියේ ගීතය උපරිගත කරමි. එසේම මේ ගීයේ පද රචකයා හෝ සංගීතවේදියා ගැන ලේඛකයාට දැනුමක් නොමැත. පද වලට අනුව එය සමන්ත හේරත් ගේ සහ සංගීතය අනුව එය රෝහණ වීරසිංහයන්ගේ වීමට ඉඩ ඇති බව සිතෙන මුත් මේ පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන්නන්ට හද පිරි ස්තූතිය පුද කරමි.

Thursday, July 14, 2011

හිරු දැවී

හිරු දැවී සඳු ගිලී
කප් කෙළක් තරු නිවී
අඳුරු විය විමානය
හුදෙකලා මග නොමග
පැටලිලා තනිවෙලා
හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කල මැන
මහද සෙනෙහසින් . . .

සිටු මැදුරු යස ඉසුරු
පිරුණු ලොවකට - මහරු
කදෝපැණියෙක්මි මා
ඇඳිරියේ
කෙලෙස නම් එලිය දෙම්
කුමරියේ . . .

කතරකට පිණිබිඳකි
කුමුදකට පුරසඳකි
මතකයෙන් ගිලිහිලා
කුමරියේ
හිරු දැවෙයි සඳු ගිලෙයි
මගෙ ලොවේ
එළිය දෙමි කෙලෙස නම්
එකළු කල මැන
මහද සෙනෙහසින් . . .


ගායනය: ආචාර්ය අමරදෙව සහ විශාරද නන්දා මාලිනී
සංගීතය: රෝහණ වීරසිංහ
ටෙලිය: අවසඳ (1990)


ඇය ධනවත් සිටු පවුලක උගත් තරුණියකි. සිය දෙමාපියන්ට නොපිහිටි රැඩිකල් ගති ඈ සතු විය. එනිසාම ඇගේ සරසවි පෙම්වතා ඇගේ දෙමාපියන් අණින් "අතුරුදහන්" කෙරවෙයි. ඉන් පසු ඇය ගෙවන්නේ උමතු තත්වයකට ආසන්න දිවියකි. ඔහු උපාධිධරයෙකි. විරැකියාවෙන් ඇති වූ ජීවන බර උසුලා ගත නොහී හෙතෙම රියැදුරකු ලෙස රැකියාව කරන්නේය. ඔහු ඇයගේ රියැදුරා වෙයි. මොවුන් අතර ඇති වන සංකීර්ණ සම්බන්ධතාවයත්, ඇගේ දෙමාපියන් එය අසම්මත පෙමකැයි වටහා ගැන්මත්, 1990 මුල් භාගයේ පුංචි තිරයට එක් වූ අවසඳ ටෙලි වෘතාන්තයට පාදක විය. දැන් ඇති මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය මෙන් නොව එකල තිරගත නාට්‍ය ඉතාම තියුණු තේමාවන් රැගත් ඒවා විය. හිරු දැවී ගීතය මේ නාට්‍යයේ තේමා ගීතය වන අතර, මුළු නාට්‍යයම එම ගීතය තුලට කැට කර ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. 
ඇගෙ ලොව අඳුරු වී ඇත. ඒ හිරු දැවී ගොස් සඳු ගිලී යාමෙන් නොනැවතී අසංඛ්‍ය වූ තරු ද නිවී යාමෙනි. හිරු වැසී නැත, ඇත්තේ දැවී විනාශ වීය. සඳු ද වැසී නැත. එය යළි ගොඩ නො එන්නට ගිලී ගොස් ය. එ මගින් මේ ඇගේ සිතෙහි ඇති වන පාළුව පිලිබඳ වූ දැඩි භාවයන් ප්‍රකාශ කෙරෙයි. ඔහු නැතිව යාමෙන් විමානය අඳුරු වී ඇය මග නොමග හඳුනා ගැනීමට නොහැකී වල්මත්ව ඇත. ඇය වල්මත්ව ඇත්තේ පුහු ආටෝපය නම් වනයේය. ඔහුට හිරු සඳු වී ඇයගේ එළිය කරන්නට ඇය ඇරැයුම් කරයි. එ නමුත්, ඔහු සිය තත්වය මනාව තේරුම් ගත් අයෙකි. මේ යස ඉසුරෙන් පිරුණු ලොවට ඔහුගේ එළිය කදෝපැනියකු හා සමානය. එනිසා ලොවට එළිය දෙන්නට කෙරෙන ඇගේ ඇරැයුම් නිසරු එකක් බව ඔහු පවසයි. ඇයට අනුව ඔහු කුමුදකට පුරසඳක් මෙන්ය. එනම් ඔහු දැකීමෙන් ඇය ප්‍රමුදිත වෙයි. නමුත් ඔහුට අනුව ඔහු කතරකට පිණි බිඳුවකි. කතර තෙත් කිරීමට එය නොසෑහෙන අතර නිරුදක කතර හා ගැටුණු සැනින් පිණි බිඳුව මිය යයි. එනිසා හිරු දැවෙන, සඳු ගිලෙන ඇගේ ලොව එළිය කිරීම ඔහුට කළ නොහැක්කකි. 
මේ ගීය පුරාම දිවෙන භාවයන් එහි වචන මගින් මනාවට විස්තර වේ. පංති ගැටුම හා ආදරය ගැන මනා කියැවීමක් මේ ගීතයෙන් ලැබේ. එසේම ශ්‍රී ලාංකික යුග ගීත ඉතිහාසයේ උච්චස්ථානය ලෙස මේ ගීතය සැලකීමටද මම පසුබට නොවෙමි. තනුව හා සංගීතය වඩාත් හොඳ වූ ගීත තිබිය හැකිය. එනමුත් භාවයන් දැනවීම අතින් හා පද රචනය අතින් නම් කිසිදු යුග ගීයකට මේ හා ලං වීමටවත් නොහැකි වන තරමටම මේ ගීය සාරවත්ය. ගීය පුරාම අසන්නාට දැනෙන්නේ මෙවන් පුවතකට පිළිණ දෙන අයෙකු වීමට සිදු වීමේ කාළකණ්නි කමේ හැඟීමයි. කිසිදා විසඳිය නොහැකි ප්‍රහේළිකාවක අසන්නා මෙ ගීතය විසින් අතරමං කර දැමෙන අතර, එමගින් තැනෙන භාවමය අගාධය තුල තමා ඇත්තේ කොතනැදැයි සෙවීමට අසන්නාව මේ ගීතය තුලින් දිරි ගන්වයි. අසා බලන්න, මෙය හෙළ යුග ගීයේ සිළුමිණයි.

Wednesday, March 23, 2011

සුවඳ සලනවා

සුවඳ සලනවා
කටු අකුලක මලක් පිබිදිලා
බමරු බමනවා
සුවඳ වැදී මත්වෙලා

තරු යුවලක් සිනා සලයි
ලඟා වෙන්න බෑ
පියාපත් ඇතත්
ඒ දුර පියාඹන්න බෑ
කිසිවක් මට සිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා

වෙනසක් නැති ආදරයයි
සිතක් සොයන්නේ
කඳුලක් නැති ආදරයයි
ලොවක් පතන්නේ
කිසිවක් මට සිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා


ගායනය: දයාරත්න පෙරේරා

සාමාන්‍ය පෙළ පන්තිය වනාහි නව අත්දැකීම් ලබා ගන්නා කාලයකි. එසේම රැඩිකල් අදහස් මෝදු වන කාලයක්ද වෙයි. සම්භාව්‍ය සංගීතයට කොතරම් ඇලුම් කළත් වේග රිද්මයට හිත ඇදී යන කාලයයි. එසේම ආදරය ගැන නැවුම් හැඟුම් මෝදු වන කාලයයි. ඒ නිසාම නව සංගීතය හා ගායකයන්ගේ ගීත කෙරෙහි සිත යොමු වන කාලයයි. 
අපට ද මෙවන් කාලයක් විය. රාජකීය විදුහලේ මා උගත් පන්තිය කලාගාරයෙකැයි කීම අතිශයෝක්තියක් නොවේ. එතරම් දක්ෂ කලා හැකියාව ඇති පිරිසක් මේ පන්තියේ වූහ. සුපුන්, අස්තික, ඉලීෂ හා සන්තුෂ් අපේ සිටි හොඳම ගායකයෝය. සුපුන් අද භෞතික විද්‍යා පශ්චාත් උපාධිධරයෙක් ලෙස එක්සත් ජනපදයේ වසයි. අස්තික නීතිවේදියෙකි. බරපතල ලෙස රෝගාතුර වී සිටි ඉලීෂ කොහේදැයි නොදනිමි. සන්තුෂ් අද භාතිය සමග එකව ගීත ගයයි. එමෙන්ම වාදකයෝ රාශියක් ද එහි සිටියහ. බණ්ඩාර, මනෝජ්, ගයාන් ඇතුලු බොහෝදෙනෙක් එහි වූහ. මා සිදු කලේ ඩෙස්ක් එක උපයෝගී කරගෙන බෙර ගැසීමය. පන්තියේ නිදහස් කාල ඡේදයක් ලැබූ ගමන් අප සිදු කලේ ගීත ගැයීමය. පන්තියේ ගයන ගීත වලින් බහුතරය මෙවන් වේග රිද්ම සරල ගීත විය. 
එදාත් එවන්ම දිනයකි. උදේ පාන්දරම හැඩ කෙල්ලෙක් දැක් ගෙන ආ විකුම් පුවත අප සැමට හෙළි කලේය. වෙනදා මෙන් නොව විකුම් සිටින්නේ අද අමුතු සන්තෝෂයකින් නිසා, ඇණෙන්නට සින්දුවක් කිව යුතු බව අප කාගේත් අදහස විය. අප පටන් ගත්තේ මේ ගීතයයි. සුපුන් වයලීනයත්, බණ්ඩාර බට නළාවත්, සන්තුෂ් ඕගනයත් වාදනය කළහ. මම බෙර ගැසූ අතර අපේ අනෙක් සොයුරෝ අත්පුඩි තලමින් තාලය ඇල්ලූහ. 
අපේ සින්දුව හදිසියේ නැවතී ගියේ උප විදුහල්පති පන්තියට කඩා වැදීමත් සමගය. "ඕයි, මේක රෝයල් එක, මේක කෝලම් මඩුවක් නෙවෙයි" යනුවෙන් කෑගාගෙන ආ ඔහු බණ්ඩාරගේ බටනලාව ගෙන පොළොවේ ගැසුවේ කෑලි කෑලි යන්නටය. බණ්ඩාර ජීවිතයේ අපමණ කම්කටොලු මැදින් උගත් නොසැලෙන සිසුවෙකි. වලි වලදී ගුටි කන නමුත් ඔහු කිසිදා අඬනු මම නම් දැක නැත්තෙමි. නමුත් ඔහු එතරම් ආදරය කල බටනලාව කැබලි වීයාම නම් ඔහුට කිසිසේත් දරා ගන්නට නොහැකි විය. ඔහු සෙමින් හඬමින් සිටියේ අප සැමට නොපෙනෙන ලෙසය! පසුව අපි ටක් ෂොප් එකට දෙන මුදල සති කීපයක් තිස්සේ ඉහුරු කර අපි බණ්ඩාරට බට නලාවක් මිළදීගෙන දීමු. 
වසර විස්සකට පසුව දයාරත්න පෙරේරාගේ මේ ගීතය අසද්දී මට ක්ෂණයෙන් මතක් වූයේ මේ සිදු වීමයි. දයාරත්න පෙරේරා අප සවණට ආවේ අප සා.පෙළ. සිසුවන්ව සිටි කාලයේදීය. "දිගු නෙත් හසරැල්ලේ", "නොදොඩා මුවින්" වැනි ගීත එකල වෙනසක් සෙවූ අප සිත් වලට ආමන්ත්‍රණය කලේය. "සුවඳ සලනවා" ගීතයත් එසේ අප නව යොවුන් හදවත් ආදරයේ ප්‍රහර්ෂයෙන් පුරවා ලූ ගීයක් වූයේය. මේ ගීයේ ඇහ්තේ ඉතාම සරල පද වැලකි. තරුණියක් දැකීමෙන් සිත මන්මත් වන තරුණයකුගේ අහිංසක සිතිවිලි මේ ගීතයේ ව්‍යංගාර්ථයෙන් සඳන් වේ. කටු අකුලක මලක් පිපී සුවඳ දෙයි. එය අප සිටි පශ්චාත් ජේ.වී.පී. භීෂණ සමයෙන් පසුවද එහි බලපෑම අප සිත් තුලින් පහ නොවීය. එවන් විටෙකදී හැඩ කෙල්ලක් යනු කටු අකුලක මලක් දැකීම වැන්නක්මය. ඇගේ ඇස් සිනාසෙන තරු යුවලක් වැනිය. සිත මන්ත් වී ඉගිල ගියත් එහි යන්නට පියාපත් මට නැත්තේය. මේ කෙල්ලන් සමහර විට සැප රියවල ගමන් ගනු අප දකිනා දෙයකි. 138 බසයේ සැමන් මාළුන් මෙන් තෙරපී ගිය පාසල් සිසුන් වූ අපට එහි පියඹන්නට පියාපත් කොයින්ද? ඒ වයසට අප සෙවූයේ වෙනසක් නොවන ආදරයක් නම් මුසාවකි. එනමුත් ඒ වයසට එය සුන්දර අත් දැකීමක්ද විය. මේ කිසිවක් අපට සිතා ගන්නට බැරි වූයේ අප සිත් සුන්දරතාවය හමුවේ ඉගිලී ගොස් තිබීම නිසාය. 
දයාරත්න පෙරේරා වැඩිපුර ගීත ගය නැත. නමුත් ඔහු විසින් ගැයූ සමහර ගීත නව යෞවනයන් ලෙස අප ඉත සිතින් වැලඳ ගත් ඒවා බව නම් කිව යුතුමය.


Tuesday, March 22, 2011

සමණල රෑනක් සේ

සමණල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

පොදි වුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී
ලා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලේ

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලං වේ

සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳ වත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා


මේ කතාව අවුරුදු 17ක් පැරණිය. නමුත් ඒ කථාව පැරණි නොවේ. ස්ථානය වූයේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි. අද තට්ටු බර ගණනක ගොඩනැගිල්ලක් වුවත් එකල ලයිසියමය වනාහි හිස එසැවීමට යත්න දරන ජාත්‍යන්තර පාසලක් හා ටියුෂන් මධ්‍යස්ථානයක් වීය. පොත පත යන්තමින් අල්ලා සම්ත් වූ සාමාන්‍ය පෙළින් පසුව අපි උසස් පෙළ පන්තියට පැමිණ සිටියෙමු. අද මෙන්ම අප කලත් ටියුෂන් වන්දනාව නො අඩුව තිබුණ නිසාදෝ මටත් එකී ටියුෂන් පන්තියට යාමට සිදු විය. මා එකල පොත් ගුල්ලෙක් වූ අතර, අනෙක් වුන් කෙල්ලන් දිහා බල්ද්දී මා කලේ කලා කෘති රස විඳීමයි. එනමුත් අනෙකුත් කොල්ලන් සමග "වල බැසීම" නම් පුරුද්දක් ලෙසම කල බව අදටත් මතකය. අපේ ටියුෂන් පන්තියට අළුතින්ම හැඩ කෙල්ලෙක් පැමිණීමත් සමගම උපාසක වෙස් ගෙන සිටි මා මිතුරා ගේ හැසිරීම වෙනස් වන්නට විය. ඔහු මේ ගැහැණු ළමයා ගැන දැක්වූයේ බොහෝ උනන්දුවකි. නමුත් මේ කෙල්ල එසේ මෙසේ නොව ටිකක් ආඩම්බරකාර එකියක් බැවින් මගේ මිතුරා ඇය හා දොඩන්නට ගත් සියළු උත්සාහ ගඟට කැපූ ඉණි මෙන් විය. කපු කම කරන්නට මට බලපෑම් පැමිණි මුත් කපු කම් තියා කෙල්ලන් සමග හරියට දොඩන්නටවත් නොදන්නා මට මෙය ඉතා අමාරු කාරියක් විය. කෙසේ හො මගේ වාරය පැමිණියේය. පන්තියේ අවුරුදු නිවාඩුවට කලින් සාදයක් පැවැත්විණි. මෙහිදී ගීයක් ගයන ලෙස ආරාධනාවක් ලැබිණි. එකල මට ඉතා හොඳ යෙහෙළියක් විය. ඇය නමින් වින්ධ්‍යාය. (ඇය කොහි දැයි අද ද මා නොදන්නෙමි) මගේම අච්චුවේ පොත් ගුල්ලකු වූ ඇයට ඇසක් ගසා කතා කොට හෙමින්ම මම සිද්ධිය විස්තර කළෙමි.

"මෙහෙ වරංකො බං, පොඩි රහසක් තියෙනව" මම කීවෙමි.
"දන්නවද අර අපේ චින්තක වත්සලාට ලයින් නෙ. වත්සලා ඉතින් හෙන ගණන් නෙ. දැන් මේක අපට පොඩ්ඩක් ඉන්ඩිරෙක්ට් විදියට ඔළුවට දාන ඕන"
"වත්සලා සින්දු වලට හරි කැමතියි. හොඳ සින්දුවක් කියල වැඩේ දෙමු" වින්ධ්‍යා කීවාය.
"මොකද්ද කියන්න හොඳ?" මම ඇසීමි.
"සමණල රෑන්ක සේ" වින්ධ්‍යා කීවාය.
"ඒකට දෙන්නෙක් ඕනනෙ බන්"
"ඇයි උඹයි මමයි ඉන්නේ!" කීවේ වින්ධ්‍යාය.
"මේක මට කියන්න පුළුවන් එකක්ද බන්, මගේ කට හඬ මේකට ගොරෝසු වැඩියිනේ" මම කීවෙමි.
"කමක් නෑ බන්, බළල මැටියෙන් වුණත් මොකෝ මීයො අල්ලනව නම්" වින්ධ්‍යා කීවාය.

ඉතින් අපි චින්තකටත්, වත්සලාටත් පුදමින් මේ ගීතය ගායනා කළෙමු. (ගායනා කළා කීවාට සින්දුව කිව්වා පමණක් වන්නට ඇත!). අද චින්තක හා වත්සලා දරුමල්ලන් පිරිවරා ගත් සතුටුදායක පවුලකි.

මේ ගීයේ ඉතිහාසය එබඳුය. පළමු වරට මා පිරිසක් ඉදිරියේ ගායනා කලේද මෙම ගීතයයි. මෙහි ගැයුම මිල්ටන්
මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා ගෙනි. පද රචනය මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි. ආදරයේ ප්‍රහර්ෂය සමණල රෑනක් සේ අනන්තය. එය කීමට වචන අප සතුව නැත. දිව දෙතොලේ පැටලෙන්නේ එහෙයිනි. ඒ රුව දකින විට පොදි බැඳගත් සිතුවිලි තෙරපෙමින් අවදි වෙන නිසා සුලඟේ සැලෙන ලපල්ලක් මෙන් මහද සැලේ. දේදුණු දහසක් සේ ආලය ප්‍රසන්න හැඟුමකි. රිදී සිනා මල් පාන සීගිරි ලියක්, නැතහොත් ඩින දින පතන ඔබේ සොමි වුවන මෙන් පණ නල ඇති තුරුම ඔබ සිහිවේ.

මේ ගීතය 1980 මුල් භාගයේ නිර්මාණය වූ ගීයකි. මිල්ටන් ගැන අපි ඇති තරම් කතා කොට ඇත්තෙමු. එසේම කැලිප්සෝවෙන් මිදුණ ඉන්ද්‍රාණි පෙරේරා යනු කෙතරම් සුන්දර හඬක් දැයි අපට මතක් කොට දෙන්නේ මේ ගීතයි.

Saturday, February 12, 2011

පහන් කන්ද


පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
මගෙ පැල අඳුරුයි

කටුක දුකින් ගිණි ගැණුනු ආත්මය
පුපුරා ගලනා සෝ ගී රාවය
අසා ලබන සතුටෙන් බිඳුවක්
ආපසු මා වෙත දුන මැනවි

අඳුරෙන් එළියට ගැයෙනා ගීයෙන්
හදවත නොපහන් සිතුවිලි දුරු කොට
පහන් සිතින් දලවා පහනක්
ආලෝකය මට දුන මැනවි


පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: විශාරද නන්දා මාලිනී
ඇල්බමය: පහන් කන්ද


රාජු වනාහි ජෝකරයෙකි. සිංහලෙන් කීවොත් සර්කස් සංදර්ශන වල පැමිණ සිටින්නන් හිනා ගස්වන බහුබූතයෙකි. රාජු හමු වන්නේ රාජ් කපූර් විසින් අධ්‍යක්ෂණය කල "මේරා නාම් ජෝකර්" සිනමා පටයේදීය. කුඩා කල පටන්ම තමා ඉපදී ඇත්තේ අනුන් හිනස්වන්නට බව ත් රාජු තේරුම් ගනී. තෙවරක්ම ප්‍රේමයෙන් පරදින ඔහු ඒ සියල්ල සිතේ දරාගෙන නරඹන්නන් හිනස්වයි. වෙනෙකක් තබා තම මව මිය ගිය පුවත ලැබුණු මොහොතේදී සිදු කරන සංදර්ශනයේදී "අම්මා" කියමින් හඬයි. එය දකින නරඹන්නන් කරන්නේ කොක් හඬ නගමින් සිනා සීමය. රාජු  නම් බහු බූතයා මෙන්ම තම සිත තුල ඇති දුක් වේදනා සන්ගවා ගෙන අනුන් හිනස්සන්නන් අප සමාජයේ විරල නොවේ. එලෙස තමන් හඬමින් අනුන් හිනසවන, තමන් විඳවමින් අනුන් පිනවන කෙනෙකුගේ ප්‍රකාශනයක් ලෙස "පහන් කන්ද" ගීතය ලියවී ඇත.

පහන් කන්ද සතර දෙස ආලෝකය පතුරයි. එනමුත් පහන් කන්ද පාමුල ඇත්තේ බියකරු අන්ධකාරයයි. එහි පාමුල අඳුර කිසිවෙකු දකින්නේද නැත. හද අඳුරු තැනැත්තේගේ පැල ද අඳුරුය. කටුක දුක් දරා, ඒවා ඵැසවමින් පිටතට ගලා එන වේදනාව පද වැල වී ගැයීමෙන් අසා සිටින්නන් මන් මත් වේ. එය ඔවුන් ගේ හදවත් අඳුරෙන් එළියටද ගෙන යයි. එයින් හදවතෙ අඳුරු සිතිවිලිද නැත. මේ ගීත අසා ලබන සතුටේ ආලෝකයෙන් බිඳුවකින්, නව පහනක් දල්වා අඳුරු වූ පහන් කන්ද පාමුලට, හදවතට, පැලට එළියක් ගෙන එන් මෙන් ඉල්ලා සිටියි. මේරි, මරීනා, මීනා යන තුන් දෙනගේමත්, සිය මවගේත් ආදරය අහිමි වී රාජු නම් බහු බූතයා සිටින්නේද මෙවන් අඳුරකමය.

පහන් කන්ද නන්දා මාලිනියගේ ස්වර්ණමය යුගයේ නිර්මාණයකි. ඇය සමහර විට එකල ආසියාවේ මධුරතම හඬ හිමි කාන්තාව වන්නටද ඇත. නන්දා මාලිනිය මෙන්ම මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ ගී කලාවේ උච්චතම ලක්ෂ්‍යය නිරූපණය කරන්නේ "පහන් කන්ද" ඇල්බමයයි. මේ ගීතය අසා බලන්න, රාජු බහුබූතයාගේ රුව ඔබ අබියස පෙනී යනු ඇත.

බාගෙන අහන්න